මට කළ හැකි දේ

රනිල් ඡන්ද කරන්නට හිතුවේ සල්ලිවලිනි. දිලිත් ජයවීරගේ කොම්පැනියට රු. කෝටි 15ක් දී දැන්වීම් හදා ගත්තේ ය. ඒවා ලංකාවේ ජනතාවට කිසිදු ආමන්ත්‍රණයක් කරන්නට සමත් වී නැති බව ප්‍රතිඵලයෙන් පැහැදිලි ය. ඒ ඇඩ්වටයිසිං කොම්පැනියෙන් ප්‍රචාරය කරවා ගන්නා කොම්පැනිවලට අබ සරණ ය.

අපේක්ෂකයන්ට එකාට ලක්ෂය බැගින් බෙදා දුන්නේ ය. හුඟක් එවුන් මේ ලක්ෂයෙන් ද ගානක් ගහ ගත්ත හ. ඇත්තට ම මෙම ක්‍රමය යටතේ උන්ට ලක්ෂයකින් කරන්නට දෙයක් තිබුණේ ද නැත. ගම්වල පෝස්ටර් ටිකක් ගහන්නට, හෑන්ඩ්බිල් ටිකක් බෙදන්නට හා රැස්වීමක් දෙකක් තියන්නට එය ඕනෑවටත් වැඩි ය.

රනිල් හා ඔහුගේ ගෝලබාලයන් හිතාගෙන හිටියේ දැන් හරි ය කියා ය. එහෙත්, ඡන්ද කෙරුවාව එහෙම එකක් නො වන බව ජනතාව රනිල්ට කියා දුන්නේ ය.

තනතුරු දී, පඩි දී පත් කර ගත් ඇතැමෙකු ගැන ද කියන්නට තියෙන්නේ එය ම ය. රනිල් සල්ලිවලින් ඡන්ද කරද්දී පත්වීම් ගත් ඇතැමෙක් පඩි අරන්, රට සවාරි යමින්, කමින් බොමින් ෂපාන් එකේ සිටිය හ.

මේ අන්දමින් ප්‍රංශ මේස චාරිත්‍ර සහිතව භෝජන සංග්‍රහයකට වාඩි වූ මේසයේ අනෙක් පැත්තේ හිටියේ ඌරෙකු බව යූඇන්පීකාරයන්ට අමතක විය.

දැන් ඉතින් ගිය නුවණ ඇතුන් ලවාවත් ඇද්දවිය නො හැකි ය.

මම එජාප සාමාජිකයකු නො වේ. එහි සාමාජිකත්වය ගෙන එහි තනතුරු ගන්නට, ඡන්දවලට ඉදිරිපත් වන්නට මට උවමනාවක් නැත. එහෙත්, අපි 2015 ජනවාරි 8 අරමුණු වෙනුවෙන් විශ්වාසය තැබුවේ මෛත්‍රීපාල මත නො ව එජාප මත ය. අප එජාප සලකන්නේ අපගේ දේශපාලන අරමුණ සමග සමපාත වූ ව්‍යාපාරයක් ලෙස ය. රටේ තිබෙන දේශපාලන පක්ෂ අතරින් සාපේක්ෂව ඉදිරිගාමී ලෙස සමාජ සංවර්ධනයට දායක වීමේ වැඩි හැකියාවක් මෙම මොහොතේ තිබෙන්නේ එජාපට ය. එහෙත් අපි ඒවාට පටහැණි දූෂණ, අක්‍රමිකතා ආදිය දැඩි ලෙස විවේචනය කිරීමෙන් වළකින්නට එය හේතුවක් නො වේ.

2015 ජනවාරි 8ට පෙරත්, පසුත්, අප සියල්ල කළේ ස්වේච්ඡාවෙනි. අතින් වියදම් කරගෙන ය. එහෙත්, අපේ සතුරන් අපට පහර දුන්නේ අපි සිරිකොතේ මුදලට ලියනවා ය, වැඩ කරනවා ය කියා ය. ඇත්ත එය නො වේ.

විශේෂයෙන් සමාජ මාධ්‍යවල මතවාදී අරගල කරද්දී ආණ්ඩුවේ දේශපාලකයන් හා ආණ්ඩුවෙන් තනතුරු ගත් මහත්වරුන් වැඩි දෙනෙකු අපට එක වචනයකින් හෝ උපකාර නො කළ හ.

මේ ආණ්ඩුවෙන් තනතුරු ගත් අය සිතා සිටියේ ඔවුන් අපට ආණ්ඩුවට උදව් කරන්නට චාන්ස් එකක් දී තිබෙකවා ය කියා ය. මේ සියලු කෙණහිලි විඳ දරාගෙන , විශේෂයෙන් ම වාමාංශිකයන්ගෙන් කුණු බැනුම් අසමින් අප සමාජ මාධ්‍ය තුළ දිවා රෑ වෙහෙසුණේ 2015 ජනවාරි 8 සමාජ වෙනස ඉදිරියට ගෙන යාමට දැවැන්ත මතවාදී අරගලයක් අවශ්‍ය නිසා ය. එහෙත් අපට කළ හැකිව තිබුණු දේ කරන්නට අපට අවස්ථාවක් නො ලැබිණි. ආර්ථික සීමා නිසා අප කළ දේ හා අපට කරන්නට පුළුවන්කම තිබුණු දේ අතර විසල් වෙනසක් තිබිණි.

රට වෙනුවෙන් හරි හමන් වැඩක් කරන්නට අවස්ථාවක් නො ලැබීම ගැන මම අදත් දුක් වෙමි. එහෙත්, එක එකා පසුපස බඩ ගෑමේ අවශ්‍යතාවක් ද මට නම් නො තිබිණි. දැන් නම් ඉතින් පස්සෙන් යන්නට තරම් දෙයකුත් මේ ආණ්ඩුවට නැත.

මම තවමත් ප්‍රජාතන්ත්‍රවාදයේ, නිදහසේ, සාධාරණත්වයේ නාමයෙන් 2015 ජනවාරි 8 අප විසින් ඉදිරියට ගෙන ආ අරමුණු රැක ගත යුතු ය කියන තැන ද මේ අත් වූ පරාජය ආපසු හැරවීමට වැඩ කළ යුතු බව ද විශ්වාස කරමි. මෙම ඡන්ද ප්‍ර‍තිඵලය එක්තරා දුරකට ආණ්ඩුවේ ආර්ථික උපායමාර්ගය ප්‍ර‍තික්ෂේප කිරීමක් ලෙස ද සැලකිය හැකි බැවින් මෙම කාරණා අප ගැඹුරින් සලකා බැලිය යුතු ය. එහෙත්, ජාතික සමානාත්මතාව, ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය, මානව හිමිකම්, නිදහස වැනි කාරණාවලදී කිසි සේත් ම යටත් නො වී සටන් කළ යුතු ය.

මා පසුපස එන්නැයි මම කවදාවත් කිසිවකුට කියා නැත. එහෙත්, බොහෝ අයට අප ලියූ දේ බලපෑ බව මම සිතමි. අප සැම වෙනුවෙන් මම මෙම තීරණය විවෘතව මෙහි සටහන් කරමි.

ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය, නිදහස, සමානාත්මතාව, සාධාරණත්වය වෙනුවෙන් පරාජය වෙමින් තිබෙන වත්මන් ආණ්ඩුව සමග පොදු අරමුණ වෙනුවෙන් ඉදිරියටත් වැඩ කරන්නට මා සූදානම් ය. එය හුදෙක් මාධ්‍යකරණයට පමණක් සීමා නො කරන්නටත්, ඒ වෙනුවෙන් දැනට ගත කරමින් සිටින සුවපහසු තත්වයන් අතහැර දමන්නටත් මා සූදානම් ය. අපට ඇතැම් විට වැඩ කරන්නට සිදු වන්නේ 2020 නොව 2025 වෙනුවෙන් විය හැකි ය.

මෙය ලියන්නේ විවෘතව ය. මේක කියාගෙන කාගේවත් පස්සෙන් යන්නට මට බැරි ය. මට කරන්නට පුළුවන් දේ මම කීවෙමි. මම පුද්ගලයෙකු පමණි. සමාජය, සංවිධාන, දේශපාලන පක්ෂ ලෙස ඔබට අවශ්‍ය නම් මා ප්‍රයෝජනයට ගත හැකි ය. අරමුණු වෙනුවෙන් වැඩ කර පරාජය වීමේ ඉරණම භාර ගැනීමට මා සූදානම් ය. නැතිනම් මට ද මේ සියල්ල නවතා කවියක්, කතාවක් ලියාගෙන ඉන්නා තැනට යන්නට සිදු වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *